සළඹ තීරුව -ලිපි අංක 01 ගමනක ඇරඹුම
" වෙලාව උදෑසන හය පසු වී මිනිත්තු පහළොව යි." ගුවන්විදුලියේ සජීවී විකාශනයේ නිවේදිකාවගේ හඬ මගේ සූදානම ඉක්මන් කිරීමට උත්තේජන සලසයි. "පුතේ ඉක්මන් කරන්න..බස් එක යාවී" අතීතයේ පාසල් බස් රථයට දුවයන කාලයේ සිටම අම්මාගේ මුවින් කියවෙන සුපුරුදු වාග් ප්‍රකාශය අද වන තුරුම සක්‍රීය වෙමින් ඇත.අම්මාටත් තාත්තාටත් වැඳ නිවසින් පිටවූ මම ප්‍රධාන මාර්ගය කරා කඩිනමින් ගමන්ගන්නට වීමි.තාර ගැලවුණු පටු අතුරු මාර්ගයේ අඩි උස පාවහන් යුගලක් පලඳා ගමන් කිරීම සිතනා තරමේ පහසු කටයුත්තක් නොව.නමුත් කෙසේ හෝ මා මේ ගමන ඉක්මනින් නොවැටී යා යුතුය.පටු අතුරු මාර්ගය අවසන කළු ගඟ හරහා වැටී ඇති පාලම මතින් සුපුරුදු පරිදි ගමන් කරනා මම නිසොල්මන්ව හෝ චන්ඩව ගලා බසින කළු ගඟ දෙස නිරායාසයෙන් බලමි. ඒත් සමගම ඈතින් කුඩාවට පෙනෙන සමනළ ගිරි ශිඛර හැම දිනකම මගේ ගමනට ආශිර්වාද කරයි. බස් නැවතුම්පොළ වෙත යාමට පෙර අතරමඟදී හමුවන විරාජමානව වැජඹෙන ප්‍රධාන මාර්ගය අයිනේ ඇති තෙද පත්තිනි දේවාලය මග හැර යෑමට කිසි දිනක මට හිත් නොම දෙයි.පසුම්බියේ ඇති මාරු කාසි රැගෙන දේවාලයේ පිං කැටය සහිත ප්‍රධාන දොරටුව වෙත ගමන් කරන මට අඩවන්ව ඇරුණු දේවාල දොරටුවෙන් පත...