සළඹ තීරුව -ලිපි අංක 01 ගමනක ඇරඹුම

වෙලාව උදෑසන හය පසු වී මිනිත්තු පහළොව යි."

ගුවන්විදුලියේ සජීවී විකාශනයේ නිවේදිකාවගේ හඬ මගේ සූදානම ඉක්මන් කිරීමට උත්තේජන සලසයි.
"පුතේ ඉක්මන් කරන්න..බස් එක යාවී"
අතීතයේ පාසල් බස් රථයට දුවයන කාලයේ සිටම අම්මාගේ මුවින් කියවෙන සුපුරුදු වාග් ප්‍රකාශය අද වන තුරුම සක්‍රීය වෙමින් ඇත.අම්මාටත් තාත්තාටත් වැඳ නිවසින් පිටවූ මම ප්‍රධාන මාර්ගය කරා කඩිනමින් ගමන්ගන්නට වීමි.තාර ගැලවුණු පටු අතුරු මාර්ගයේ අඩි උස පාවහන් යුගලක් පලඳා ගමන් කිරීම සිතනා තරමේ පහසු කටයුත්තක් නොව.නමුත් කෙසේ හෝ මා මේ ගමන ඉක්මනින් නොවැටී යා යුතුය.පටු අතුරු  මාර්ගය අවසන කළු ගඟ හරහා වැටී ඇති පාලම මතින් සුපුරුදු පරිදි ගමන් කරනා මම නිසොල්මන්ව හෝ චන්ඩව ගලා බසින කළු ගඟ දෙස නිරායාසයෙන් බලමි. ඒත් සමගම ඈතින් කුඩාවට පෙනෙන සමනළ ගිරි ශිඛර හැම දිනකම මගේ ගමනට ආශිර්වාද කරයි. බස් නැවතුම්පොළ වෙත යාමට පෙර අතරමඟදී හමුවන විරාජමානව වැජඹෙන ප්‍රධාන මාර්ගය අයිනේ ඇති  තෙද පත්තිනි දේවාලය මග හැර යෑමට කිසි දිනක මට හිත් නොම දෙයි.පසුම්බියේ ඇති මාරු කාසි රැගෙන දේවාලයේ පිං කැටය සහිත ප්‍රධාන දොරටුව වෙත ගමන් කරන මට අඩවන්ව ඇරුණු දේවාල දොරටුවෙන් පත්තිනි මෑණියන්ගේ තේජාන්විත  වූ රූපය දර්ශනය වේ. මොහොතක් මා ඇගේ කාරුණික ඇස් දෙස එක එල්ලේ බලා සිටිමි. එවේලෙහි මට ලෝකවාසී සියලු ස්ත්‍රීන්ගේ ගේ ප්‍රතිමූර්තිය ඇගේ ඇස් වලින් විද්‍යමාන වීමට පටන් ගනී. මා ඈට නමස්කාර කරමි.ඒ නමස්කාරය, ගෞරවය මේ ලෝකයෙහි පැවැත්ම වෙනුවෙන් අනේක විධ කැපකිරීම් සහ දරාගැනීම් සිදුකරන ලොව සියළු ස්ත්‍රීත්වය වෙනුවෙනි. ඇගේ දෑස් වලින් මිදී මම සෙනග තෙරපෙන බසයට ආයාසයෙන් ගොඩ වදිමි.කිටි කිටියේ තෙරපෙන මිනිස්සුන්ගේ දහඩිය ගන්ධයත් විවිධ සුවඳ විලවුන් වර්ගත් එක්වීමෙන් එන හදුනාගත නොහැකි ගන්ධයෙන් බස් රථය පිරී ඇත.තල්ලු කිරීම්,පා පෑගීම්,ගමන් මළු සිරුරේ වැදීම් ආදී දහසකුත් දුක් කම්කටොලු මැද කොන්දොස්තරවරයාගේ සුපුරුදු වාග් කෝෂයේ පුරුදු වදන්ද සංයෝග වන්නා වූ මේ ගමනාන්තය නම් පහසු නැත. අමාරුවෙන් ආසනයක ඇන්දක් අල්ලා ගත් මා දිගු හුස්මක් පිට කරන විටම  මා අසල පිටුපසින් සිටි මැදි වියේ පුරුෂයෙකු ඔහුට පුරුෂ ලිංගයක් තිබෙන බව මා හට දන්වන්නට ගන්නා වූ උත්සාහය වැටහිණ. මෙතෙක් මා තුළ  වූ කාරුණික පත්තිනි ප්‍රතිරූපය ගිණි පත්තිනි බවට පරිවර්තනය වීමට මා හට වැඩි වේලාවක් ගත නොවීය. 
දුටුවන් දැවී අළුවන රෞද්‍ර බැල්මක් ආරෝපනය කරගත් මම සැණින් හැරී ඔහුගේ අසහනකාරී ඇස් දෙස එක එල්ලේ බලා සිටියෙමි.අක්ෂි ප්‍රයෝගයේ සාර්ථකත්වයේ මහිමයෙන් ජැක් මෑන් බූමිතෙක් ගැසූ ගැරඩියෙකු සේ බස් රථයේ ඉදිරියට ඇදෙන්නට විය.සෙනග පිරුණු මෙම බස් රථයෙහිම ඔහු වෙනත් ස්ත්‍රියක් අපහසුතාවයට පත් කර සිය අසහනය දුරු කරගන්නා බව නම් නිසකය.
මේ ගමනාන්තය තුළ අසුන් ගැනීමේ සම්භාවිතාව අහඹුය.එයටද දැඩි උත්සාහයක් දැරීමට සිදු වෙයි.බොහෝ විට සාපේක්ෂව අසුන් ගැනීමට දැඩි පරිශ්‍රමයක් යොදනුයේ හැඩි දැඩි පිරිමිය.හැඩි දැඩි වුවද ඔවුන්ට බස් රථයක් තුළ නොනැවටී සෘජුව ගමන් කිරීමට තරමේ ශක්තිමත් බවක් නොමැති විය යුතුය.අනෙක් පිරිස නම් වයස තිස් පහ පමණ ඉක්මවූ මැදිවියේ ගැහැණු ය.මෙහිදී අසුන්ගැනීමට ඇති ඔවුන්ගේ මූලික අවශ්‍යතා වන්නේ නිදා ගැනීම සහ දුරකථන පාවිච්චි කිරීමයි.මෙවැනි දැඩි ආක්‍රමණශීලී අවස්ථා වල ඔවුන්ගෙන් එල්ලවන තල්ලුකිරීම් හමුවේ ඇද වැටීමට ගොස් අනූනවයෙන් බේරුණ අවස්ථාද නැතුවා නොව.මීට වසරකට පමණ ඉහත සරසවිය වෙත යන සති මුල සඳුදා දිනවල අමාරුවෙන් කරපිට එල්ලා ගත් විශාල බෑගයක්ද කැටුව මා මේ බස් රථයටම ගොඩ වූවා මතකය.එලෙස ගොඩ වූ බොහෝ දවස් වල කොන්දොස්තර මහතාගේ මිහිරි වදන් සමූහය නතර වූයේ අසරණ මා අසලය.
"ඔය බෑග් එක ඉස්සරහට ගන්න.යන්නෙ කොහොමද අනිත් මිනිස්සු.කාටහරි දෙන්න.නැත්නම් උඩට දාන්න"
බෑගයේ විශාලත්වය නිසාම ඉහළ රැක් එකට දැමීමට නොහැකි බව හොද හැටි දන්නා මම අසරණ ලෙස මා අසල අසුන්වල වාඩි වී සිටින කාරුණික වූ මගීන් දෙස බලමි.අහෝ පුදුමයකි! හොදට හිටි උන් මර නින්දේය.බර ඉවසා දරා බෑගය ඉදිරිපසට ගන්නා මා එක අණ්ඩයකින් විශාල බරකින් යුතු බෑගය බොහෝ දුර එල්ලා ගොස් ඇති අවස්ථාද එවකට තිබුණි.එය සිහිවන විට දැන් වුවද මාගේ උරහිස රිදුම් දෙන්නාක් මෙන් දැනෙන්නේ නිරායාසයෙනි.
අසල අසුනේ වාඩි වී සිටි තරුණ පෙම් යුවලගේ නැගිටීමෙන් හිස් වූ ආසනයේ කෙලවර අසුනේ වාඩි වීමේ භාග්‍යය අහඹු ලෙස හිමි කරගත් මම කවුළුවෙන් පිටත පරිසරය නරඹමින් ගමනාන්තයේ තවදුරටත් ඉදිරියට ඇදෙමි.
බස් රථය පසු කරන වීදි මං දෙපස කඩි මෙන් ඇවිද යන විවිධාකාර විවිධ තරාතිරමේ ගැහැණු රූ දෙස මා ආයාසයෙන් බලමි. ඒ මැදියම් රැය මා නිදිවර්ජිත කරමින් අවදිකරවන සළඹ සරින් ඇදෙන විවිධාකාර ගැහැණුන් ඔවුන් අතර සිටීද යන්න පිලිබඳවය.
රාත්‍රි සප්න පුරා මා හමුවට එන විවිධාකාර ස්ත්‍රී චරිත මම එකින් එක ගමනාන්තය අතර තුර ආවර්ජනය කරමි.සිහිනවල ඔවුන්ගෙන් නික්මෙන සළඹ නාදය සැබෑ ලෝකයේ මා දෙසවන් වල නැවත නැවත දෝංකාර දීම විටක මා හට ගෙන දෙන්නේ පීඩාවකි.
දවසින් දවස මා හමුවන ඉතිහාසය පුරා කාලතරණය කර පැමිණෙන ගැහැණු ලේසි පහසු උන් නොව.සැබැවින්ම ඔවුන්ට ඉතිහාසය මගින් අත්වී ඇත්තේ අසාධාරණ වූ ඉරණම්‍ ය. විටක ඔවුන්ට සමහර දෑ වැරදුණා විය හැකිය.තව විටක හිතා මතාම සියළු වැරදි අනෙකුන් විසින් ඔවුන් වෙත පැටවූවා විය හැකිය.
එසේ මනස සලිත කරන එක් රැයක රාවණගේ ප්‍රිය පතිනිය මන්දෝදරිය මවෙතට පැමිණියාය.සිය සැමියා සහ දරුවන්ගේ ඈත් වීම් දරාගත නොහැකිව සිටි ඈ භූගත අදුරු කුටියක  බලා ගත් අත බලා සිටින්නීය. 
තව දිනක අනන්ත රාජ සම්පත් මැද සිය සැමියා අලංකෘත නාට්‍යාංගානාවන්, නාගලියන් සමඟ කාමාශක්තව සැනසෙද්දී එලෙස කෝපයත් ශෝකයත් රහිතව හැගීම් විරහිත සේ බලා සිටින රන්මැණිකා පැමිණියාය.
තවත් වැසි සහිත රැයක ඉතිහාසය පුරා කිසිදු  වැඩකට නොමැති, කාම ධේනුවක ලෙස හංවඩු ගැසූ ලාංකේය පළමු රැජින අනුලාවෝ මහාවංශයෙහි සාවද්‍යව ලියවුණු  පරිච්ඡේද කුඩා කුඩා කැබලි වලට ඉරමින් මා යහන අසල සිටියහ.එක් එක් දිනවල වෙනස් වෙමින් මා හමුවන කුවේනිලා,සෝමාවතීලා,පත්මාවතීලා,යශොදරාලා,අම්බපාලිලා ආදී නා නා විද වූ මා හදුනාගත් මෙන්ම හදුනා ගැමීමට අපහසු වූ ගැහැණු මේ සිහින අතර බොහෝ සිටිති.නිද්‍රවෙන් තොර කණස්සල්ලෙන් මා දෙස වරින් වර බලා සිටින මේ ගැහැණු නැවතීමකින් තොරව පෙනී සිටිනවා මිසක එහි නැවතුමක් නැත.
අගක් මුලක් අරමුණක් නොමැතිව මෙලෙස සප්නවල හමුවන ගැහැණු බොහොමයක් ස්වරූපය වෙනස්ව ඒ ලෙසින්ම යතාර්ථවාදී නූතන ලෝකයෙහි  මා හට යළි යළිත්   මුණගැසීම තවත් අරුමයකි.මට තවත් ඔවුන් දැක නොදුටුවා සේ ආත්මාර්ථකාමීව මගේ ගමන යා නොහැක.
මම තීරණය ගතිමි.නිද්‍රාවෙන් තොර වූ ඔවුන් සොයා යාමට.
මේ ගමනාන්තය තුළ ගිම් නිවෙන නිදහසේ තීරුවක ඔවුන් ළඟ නැවතී ඔවුන්ගෙන් මෙතෙක්  කවුරුත් නොඇසූ කතා අසා සිටීමට මට අවැසිය.ඔවුන්ට වැරදුන තැන් නිවැරැදි කිරීමට මට අවැසිය.සියළු දුක් වේදනා දරා නොනවත්වා ගමනක නියුක්ත මේ සළඹ නාදය අපි මොහොතකට නවත්තගමු.
මේ ගමන පහසු නොවන බව මම දනිමි.නමුදු මා පිටත් විය යුතුමය.
ඒ තනිව නම් නොව.මා මිතුරු ඔබද කැටුව ය.ඉදින් සබඳ,  අපි එක්ව ඉදිරියට ඇදෙමු.සළඹ නාදය දිගේ ඈතින් ඈතට..ඇය වෙනුවෙන් සෙනෙහසේ සිත් දරා..

✍️ හංසි සඳමාලි

Comments

Popular posts from this blog

මන්දෝදරී හැදුන හැටි.

මන්දෝදරී ( Mandodari Lyrics )